Sunday 7 June 2015

විකාර රූපි අංක 01

 
 
 
 
 
 නොදන්නා ලෝකයක් අකුරු කරන්නට මගේ සිත මට බල කරන්නේ කවදාක සිටදැයි මට හරියටම නිනව්වක් නැත. ජීවිතය කොහේ හෝ තැනක අතහැරි ඇති සේයක් මට හැගේ. අනවශ්‍ය ලෙස හැමදේකටම කලබල වීමේ ගතිය මග හැරී අලස ලෙස දවස ගෙවා දැමීමට මගේ ශරීරය හුරු වෙමින් පවතී. අතරින් පතර තවමත් මීදුම කඳු අතරින් පහවෙමින් පවතී. උදැසන සුර්යාලෝකය ඉඳ හිටක ගසක කොලයක ඇති පිනි බිංදු ගිල ගන්නට මේන් මාන බලයි. මේ වේලිංටන් ඇතුලේ මගේ ජීවිතය දියවන්නට පටන් අරං වසර පහකුත් ඉක්ම ගොසින්.  

ඇසි පිය හෙලන සැනින් හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන් නම් ආදරය විතරක් වෙනස් නොවී තියෙයි කියලා මම කොහොමද විශ්වාස කරන්නේ. රැක ගන්න මහා ලොකු දේවල් නැති ලෝකෙක මම ජිවත් වෙන්නනේ. ඒක මට අවබෝද කර ගන්න පුළුවන්. ඒත් මේ හැම දේම විඳ ගන්න ඔයා මගේ ලඟ හිටියා නම්, මට මේ ලෝකේ ඇතුලේ මහා ලොකු ශක්තියක් නැහැ. මාව තනි කරන්නේ නැති මගේ අහිංසක හිත විතරයි මට තියෙන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඔයාට පුළුවන් වුනා නම් හැම දෙයක්ම වෙනස් වෙන්න තිබුනා. සියල්ල විඳ දරා ගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වුයේ මා අතින්ම බව අදඳු ඔබ මට නගන චෝදනාවයි. නමුත් එයට මට පාර කියා දුන්නේ ඔබ බවට කිසිඳු තැනක සටහන් නොවේ. මට කිසිවක් විශ්වාස කරගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී.

හමා ගෙන යන සුළඟත් එක්ක මගේ ආදරයත් හමා ගෙන යන බව මට දැනෙන වාර අනන්තයි. මට ඔබ මග හැරුනේ කොතනකදී ද කියා තවමත් නිනවුවක් නැත. හිතක් පපුවක් නැති කය ආත්මයෙන් ඉක්මනින්ම වෙන් වී යන්නේනම් යෙහෙකි. එපමණකටම මේ දුර්වල කය මට වදයක් වෙමින් පවතී. අදහා ගැනීමට නොහැකි බොහෝ දේ ඇස් ඉදිරියේ ම විසින්ම මවා පාන්නේ අදක්ෂ කම මනාවට මුවා කරගත් අති දක්ෂ රංගන ශිල්පිනියක් මෙනි. වෙස් වලා ගත් දුර්වල ආත්මය මා වින්දනයට පත් කරන්නේ මොහිනියක මෙනි. කල්යල් බලා සියල්ල ටක්කෙටම නිර්ණය කිරීමට තරම් සටකපට මානසික වාතාවරණයක් සහිත වටපිටාවක් නිර්මාණය කරගැනීමට මේ දුර්වල ආත්මය ගන්නා ප්‍රයත්නය ඇස් අදහා ගැනීමට නොහැකි තරම් විශ්මය ජනකය. විටක හඬන විටක සුසුම්ලන තවත් විටක කියා ගත නොහැකි තරම් අසරණව විලාප තබන මේ දුර්වල ආත්මය තව කොතරම් කල් නම් අයුෂ කියම්ද. ඇහි පිල්ලමක් හෙලන තරම් වේගයෙන් ගැහෙන හදවත තෝරා පහදා අවබෝද කර ගනිමට මා ගන්නා ප්‍රයත්නය මා ගැන මටම දනවන්නේ අත්මානුකම්පවකි.
ලෝකය වට හතක කැරකි එකම තැනක නතර උවත් ඔබ ඔබමය, මා මා මය. සිදුව ඇත්තේ ලෝකය කැරකි එකම තැනකට සපැමිනීම පමණයි. කියන්නට බොහෝ දේ ද කරන්නට බොහෝ දේද ඉතිරිව ඇත. ජය පරාජයකින් තොරව ඩවන තරඟයක් අවසාන කරන්නාක් මෙන් සියල්ල අතර මග නවතා දැමීමට මට නොහැක. මම බොහෝ විඩාවෙන් පේළෙමි. මට නිදිමතත් පිපාසයත් බොහෝ සෙයින් දැනේ. බොන්නට දිය බිඳක් හෝ නිදන්නට අගුපිලක් හෝ පෙනෙන තෙක් මානයක නැත. විඩාව මට තව තවත් තදින්ම දැනෙමින් පවතී. 












විකාර රූපි

Thursday 20 November 2014












හඬන විට හදවත මොර ගසා
මුළු අහස් තලයම ඉකිබිඳී
සිටියද දෙනෝ දාහක් පසු තලය තුල
දැනේ තනි කමක් මට අදඳු පෙර මෙන්

වාලුකා තලයම කම්පා         කරමින්
හිස් අහස් තලයම එකළු        කරමින්
දොරේ ගලා යයි වැහි අඳුර  මෝරමින්
පොලෝ තලයම කම්පිත       කරමින්

මුරගසං වැහි කඩා හැලෙන

මේ මූසල හැන්දෑව
රාත්‍රියට හඬ ගසයි
සළු පිළි උනා දමා
එක් වෙන්න හුන් සමග....








සෑම මිනිසෙකුට තම ජීවිතයේ කියන්නට කතාවක් ඇතිමුත් නැත්තේ හදවතක් ඇති අසන්නන් ය.

( උපුටා ගැනීමක්.... )









          ඔබ මගේ ළඟ නැති උනත්,
          ඔබ මගෙන් ඇතට ගිහිං
 
          සෑහෙන කාලයක් ගතවුනත්,
          විශ්වාස කරන්න...
          මට ඔබව මේ මොහොතේත් දැනෙනවා
          
          හරි පුදුමයි නේද? 







Monday 10 November 2014

නිමක් නැති දොරේ ගලන ආදරේ..........








මගේ සිතිවිලි එකම අහසක ගොනු කරන්න මට පුළුවන් වුණා නම්,
මේ ගලන කදුළු නවතා ලන්න මගේ අකීකරු හිතට පුළුවන් වුණා නම්,
ගලාගෙන යන මේ ජිවිතේ එකම තැනක නතර කරගන්න මට පුළුවන් වුණා නම්,
ආදරේ හිතෙන වාරයක් වාරයක් ගානේ ඒ ආදරේ මට අයිති නැ කියල මගේ හිතට දන්වන්න මට පුළුවන් වුණා නම්,
සැනසීමක් නැති මේ හිතට නිවී සැනසෙන්න එකම එක වතාවක් හරි ඉඩ හරින්න මට පුළුවන් වුණා නම්,
ලෝකේ කොහේ හරි ඈතක හැංගිලා පුචිම පුංචි තිතක් වෙලා නොපෙනී යන්න මට පුළුවන් උන නම්,
මං මේ ගෙවන ජිවිතේ මගේ නෙමේ කියල තේරුම් ගන්න මට පුළුවන් වුණා නම්,
මොහොතකට මං ම නවතීවි
කොහේ වත් නමේ
මගේ හිත දොර අද්දරම
කියාගන්න බැරි දාහක් දේ එක්ක
මගේ හිත නවතී වී
ආයි කවදාවත්ම , පැවැත්මක් නැති විදිහටම
මේ සිතල කදුළු වල බර , අනේ ..............
මට තාමත් දැනෙනවා
අදහන්න මං තාමත් ජිවත් වෙනවා වගේ මට දැනෙනෙවා
විශ්වාස කරන්න, මට මැරෙන්න ඕන
හැමදාම කියනවා වගේ
මං ක්සිතිජයේ දී
ආයි හමුවෙන්න
අමතක කරන්න එපා
මං නැතිඋනොත් ක්සිතිජයට එන්න

බලාගෙන ඉන්නවා.............
මං.

''අම්මා මං තව මහත් වෙන්නේ නෑ. මේ ලොකු ඇඳුම් අපරාදේ''








මේ සටහන මං මගේ පරණ දින පොතකින් උපුටා ගන්නා ලද්දක්. මගේ මතකය නිවැරදි නං මං මේක ලියලා තියෙන්නේ 2012 මාර්තු මාසේ අග බාගයේදී වෙන්න ඕනා. මං මේ සටහන් පෙළ ටික දිනක සිට සොයමින් හිටියේ. මේ පරණ දේවල් නැවත නැවත කියවනකොට පුදුමාකාර පන්නරයක් හිතට දැනෙනෙව.



මාස දහයක කාලයක් මගේ ඇගේම කොටසක් විදිහට ජිවත් උන ඔයා හරියටම තව සති තුනකින් මගෙන් වෙන් වෙලා මේ ලෝකේ එලිය බලනවා. අම්මා කෙනෙක් ජිවිතේ ලබන සුන්දරම අත්දැකීම මේක වෙන්න ඇති. මම ඉපදෙනකොට මගේ අම්මාටත් මේ වගේම දැනෙන්න ඇති කියල මං විශ්වාස කරනවා. මට මතකයි මං ලංකාවෙන් එනකොට, හරියටම අව්රුදු දෙකහාමරකට තුනකට උඩදී මට ඕන කරන දේවල් ගන්න  අම්මාත් එක්ක යනකොට ඒ හැම අවස්ථාවකදීම ටිකක් ලොකු ඇඳුමක් දෙකක් අරගෙන මගේ බැග් එකට දාන්න මගේ  අම්මා අමතක කලේ නැ. එත් ඒ හැම අවස්ථාවකම මං  අම්මාට කිව්වේ ''අම්මා මං තව මහත් වෙන්නේ නෑ. මේ ලොකු ඇඳුම් අපරාදේ කියල''. එතකොට අම්මාගේ පිළිතුර වුනේ '' මේවා ඔයාට ටික දවසකින් ප්‍රයෝජනවත් වේවි '' යන්නයි.  එත් මගේ බඩ ටික ටික ලොකු වෙද්දී මට අදින්න පුළුවන් උනේ අම්මා මට බලෙන් දාලා එවපු ඇඳුම් ටික විතරයි.
ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්.
අපේ දෙමව්පියෝ සමහර දේවල් කරන්නේ ඉවෙන් වගේ.
අපිට ඒ අයත් එක්ක හැරෙන්න වත් බෑ.......................